අපට ඇස් දෙක ලැබී තිබෙන්නේ ඒවායින් වැඩ ගැනීමටය.වයස අවුරුදු 12-18 කාලයේදී ඇස් වඩාත් දීප්තිමත්ව හා උපරිම ක්‍රියාකාරිත්වයකින් යුතුව ක්‍රියා කරන අතර පෙනීමත් ඉතා නිවැරදිය.අවුරුදු 35-40 පමණ වන විට ශරීරයෙන් ලැබෙන පෝෂණය අඩු වෙලා ඇස්වල පෙනීමේ ගුණාත්මක භාවය අඩු වෙනවා.ගන්නා අහාර පාන,බොන වතුර ප්‍රමාණය,කාලගුණය,ජීවත් වන ප්‍රදේශය,සමාජ ගැටුම්,ජීවන රටාව හා වැඩිහිටි වයසේ ඇතිවන බෝවන හා බෝනොවන රෝග තත්ව, ප්‍රතිශක්තිකරණ හැකියාව යන දේවල් ඒ සඳහා බලපානවා.එනම් දරිද්‍රතාවය නිසා නිසි පෝෂණයක් නොලැබී යාමෙන් මෙම තත්වය ඇති වුවත් වර්තමානයේ මිනිසුන්ගේ පෝෂණ තත්වය සාපේක්ෂව හොඳ මට්ටමක පවතින නිසා මෙන්ම හොඳ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළවල් පවතින නිසා එය එතරම් බලපෑමක් ඇති කරන්නේ නැහැ.වයස අවුරුදු 40 පමණ වන විට අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලි  අඩු වීමත් සමඟ ඇසට සපයන පෝෂණය අඩු වී ඇසේ කාචයේ ඝන වීම නැත්නම් සුද ඇතිවීම සිදු වෙනවා.ඒ කාලයේදී සුද ඇති වීමට හේතු රාශියක් බලපාන අතර ඒවායින් ප්‍රධාන වන්නේ විජලනයයි.ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීමෙන්,අවට පරිසරයේ උෂ්ණත්වය වැඩි වීමත් විජලනය ඇති වීමට හේතු වෙනවා.එම නිසා ඇසේ සුද ඉතා ඉක්මනින් ඇති වෙනවා.

උදාහරණයක් ලෙස උතුරු ඉන්දියාව,ශ්‍රී ලංකාව හා එංගලන්තය සැලකුවහොත් උතුරු ඉන්දියාවේ කාලයකදී උෂ්ණත්වය 500C පමණ ඉහළ අගයක් ගන්නා අතර රස්නය නිසා තද විජලනයක් ඇති වෙනවා.බිහාර්,උත්තර ප්‍රදේශ්,කල්කටා ආදී ප්‍රදේශ වල මිනිසුන් වයස අවුරුදු 40 පමණ වන විට ඇසේ සුද ඇතිවී ශල්‍යකර්මයන්ට පවා බහුලව ලක් වෙනවා.නමුත් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය 370C-400C ට වඩා වැඩි නොවන අතර ආර්ද්‍රතාවයද ඉහළ අගයකයි  පවතින්නේ.එම නිසා ලාංකිකයන්ගේ සුද ඇති වීම සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා.

ඉතා සීතල රටවල් වන ඩෙන්මාර්කය ,එංගලන්තය වැනි රටවල් වල -40 °C වැනි ඉතා අඩු උෂ්ණත්වයක් පවතින අතර ඒ වගේ රටවල් වල ජීවත් වන අයටද සුද ඇතිවීම සාපේක්ෂව වැඩියි.ඊට හේතුව සීතල දේශගුණය නිසා වතුර බීම,ආහාර ගැනීම හා වැසිකිළි යාම වැනි ක්‍රියාවන් අපේ ශරීරය විසින්ම සීමා කරනු ලබනවා.එම නිසා වැඩිපුර විජලනය ඇතිවෙනවා.කාලාන්තරයක් තිස්සේ වායු සමීකරණය කළ ස්ථාන වල සිටීම නිසාද විජලන තත්වයක් ඇතිවී ඇසේ සුද දක්වා වර්ධනය වෙන්න පුළුවන්.

ඇසෙන් වැඩ නොගතහොත් ද සුද ඇතිවීම වැඩි වෙනවා.හොඳම උදාහරණයක් නම් නිතරම ලියන, කියවන, පොත්පත් සමඟ රැඳෙන, ඉතාමත් වයස්ගත වුවත් හොඳින් පෙනීම පවතින විශේෂඥ වෛද්‍යවරු, ගුරුවරු,විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වැනි අය අප සමාජයේ බහුලව දක්නට ලැබීමයි.බොහෝවිට නිවෙස් වලම රැඳෙන කාන්තාවන්ගේ ඇසේ සුද ඇතිවීම බහුලව පවතින බව සොයා ගෙන තිබෙනවා.තවද සේවා කාලයේදී හොඳින් ඇස් පෙනීම තිබුණු බොහෝ පිරිස් වල විශ්‍රාම ගැනීමත් සමග ඇසේ සුද ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා.

මෙම ඇසේ සුද ඇතිවීම යන තත්වය වලක්වා ගැනීමට නම් හැකිතරම් තම ඇස් නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම අවශ්‍ය වෙනවා.නිතර ලිඛිත දේවල් කියවීම,හොඳින් වතුර බීම හා විජලනය වළක්වා ගැනීම,හොඳින් ආහාර ගැනීම මෙහිදී අනිවාර්යයෙන් කළ යුතු වෙනවා.අප විසින් සක්‍රීය ජීවිත ගත කරන තරමට අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ද හොඳින් සිදු වෙනවා.එවිට අපේ ඇස් ද හොඳින් එහි කාර්යය ඉටු කරනවා.ඒ අනුව ඇසේ සුද යනු වළක්වා ගත හැකි දෙයකි.