උපදින දිනයේ පටන්ම දරුවකුගේ ඇහැ ඉතාම පිරිසිදු විය යුතුය.මවට පවතින සමාජ රෝග (Syphilis, Gonorrhea) ආදිය නිසා දරුවාගේ ඇස උපතේදීම අන්ධ විය හැක.දරුවකුගේ ඇසේ වර්ණය,කබ ගැලීම,කඳුළු ගැලීම ආදිය පිළිබඳව මව සැලකිලිමත් විය යුතුය.නොමේරු දරු උපත් වලදී ඇහේ පවතින ප්‍රතිශක්තිය අඩු නිසා ඇහැ ඉක්මනින් රෝගී විය හැක.මෙම ළමුන්ගේ සංවේදන දැනෙන දෘෂ්ටි විතානය (Retina) පරිණත නැති නිසා සදාකාලික අන්ධ තත්ත්වයකට වුවද පත් විය හැක.උපතින් ඇතිවන ඇසේ සුද වපර ආදී තත්ව බැලිය යුතුය.මවක් දරුවාගේ ඇස දෙස හොඳින් බැලීමෙන් මෙම තත්ව කලින්ම හඳුනා ගත හැක.මෙහිදී 100% පෙනීම හඳුනා ගැනීම වැදගත්.එලෙසම දරුවාගේ ඇහිපිය මත ආලේප කරන විවිධ ආලේපන නිසා ප්‍රතිශක්තිය අඩු වී ප්‍රදාහික තත්ව මෙන්ම ඒවායෙහි ඇති වැලි වැනි ද්‍රව්‍ය වලින් කණිනිකාවේ සියුම් සීරීම් සහිතව කැළැල් ඇති විය හැක.මෙය මඩකලපුව වැනි සමහර ප්‍රදේශ වල දක්නට ලැබේ.මෙවැනි දේවලින් වැළකීම ඉතා වැදගත් වේ.

දරුවෙකුට අවුරුදු 1-1 ½  ක් පමණ වන විට ඇහේ චලන ආදිය බැලීම වැදගත්.ඒ සඳහා විවිධ ශබ්ධ ආදිය යොදා ගෙන ඇහේ චලන නිසියාකාරව සිදු වෙනවාද බැලිය යුතුය.එලෙසම ඇවිදින විට බිත්ති ආදියෙහි වැදීම,යම් වස්තුවක් අල්ලා ගැනීමේ අපහසුව ආදියද ඇසෙහි පවතින දුර්වල පෙනීම නිසා විය හැක.ඉදිරියේදී ඇතිවන ආබාධිත තත්ව හඳුනා ගැනීමට මෙය වැදගත්.එලෙසම පාසල් වයස වන විට ඇසෙහි පෙනීම පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ.මේ සඳහා පාසලේදී ගුරුවරුන් හා මිතුරන් සමඟ ඇති සම්බන්ධතාව කෙසේද යන්න සොයා බැලිය යුතුය.එලෙසම අවුරුදු 8 දක්වා කාලය දරුවකුගේ පෙනීම පරීක්ෂා කිරීමට වැදගත්ම කාලයයි.එයට හේතුව පෙනීමට බලපාන සංවේදන දුර්වලතා හඳුනා ගැනීමට හා ඒවාට පිළියම් යෙදීමට මෙය හොඳම කාලයයි.

අවුරුදු 10-11 වන විට ඇසේ සංවේදන පෙනීමෙහි පැහැදිලි සුපැහැදිලි බව වර්ධනය වීම ආදිය සම්පුර්ණ වේ.ඉන්පසු මෙම වැරදි නිවැරදි කරගත නොහැක.අවුරුදු 11 ට පෙර ඇසේ අසාමාන්‍යතාවයන් නිවැරදි කරගත යුතුය.මෙම අවධියේදී ඇස් පිහාටු වල අසාමාන්‍යතා ඇස රතු වීම,ඇසිපිය ගැසීමේ වෙනස්කම්,දුර ඇති පුවරු වල ඇති අකුරු කියවීමේ හැකියාව සොයා බැලිය යුතුය.

අවුරුදු 12-13 යන කාලයේදී ගැහැණු ,පිරිමි දරුවන්ගේ ශරීර පරිණත භාවයට පත්වේ.මෙම කාලයේදී 100% පෙනීමේ හැකියාව තිබීම වැදගත් වේ.ළමයා නිතරම නිදා ගැනීම,ඇස් නිතරම කැසීම,ඇස නිතර ඇත ගෑම, කුමක් හෝ දිහා වික්ෂිප්ත වී බලා සිටීම,පාසලේදී විෂයන් සඳහා අඩුවෙන් ලකුණු ලබා ගැනීම,නිතර හිසරදය බව පැවසීම,අධික ලෙස කෝප වීම ආදී ගැටළු ඇස් පෙනීමේ දුර්වලතා නිසා ඇති විය හැක.මේ කාලයේදී පාසල් වල දෘෂ්ටික හැකියාව හරියාකාරව පරීක්ෂා නොකරන හෙයින් දෘෂ්ටි පරීක්ෂකයෙක් ලවා ඇස් පෙනීම පරීක්ෂා කරවා ගැනීම වැදගත් වේ.මෙහිදී ඇස් පරීක්ෂා කිරීමට යොදා ගන්නා සටහනෙහි(snellen chart) අවසාන පේළිය හරියාකාරව කියවීමට හැකිද යන්න පරීක්ෂා කරයි.එක් එක් පුද්ගලයාගේ පෙනීම විවිධාකාර විය හැක.උදාහරණයක් ලෙස ඈත ඇති කුඩා අකුරු කියවීමට කෙනෙකුට හැකි වන අතර තවකෙකුට නොහැකි වේ.නමුත් මෙය පරීක්ෂා කිරීමේදී හැම අයෙකුටම පොදු සම්මත තත්වයක් ලෙස 6 m දී ඇත.මෙය සෑම අවුරුද්දකට වතාවක්ම පරීක්ෂා කර ගැනීම වැදගත් වේ.

ඔබේ දරුවාගේ ඇස් වල දෝෂයක් තිබේ දැයි නිවසේදී ඔබ හඳුනාගන්නේ කොහොමද? 

  • දරුවාගේ ඇස් බොර පාටයි නම්,
  • දරුවා ඇස් ඇරලා කෙලින් බලන්නේ නැත්නම්,
  • ඇසිපිය ඇලී තිබීම නිසා නිතරම වතුරින් තෙමා ඇස් ඇරීමට සිදුවෙනවා නම්,
  • නිතරම ඇස් රතු වෙනවා නම්,
  • දරුවා යමක් දෙස  බලන විට එක් ඇසක් එක් පැත්තකට ගමන් කරනවා නම්,
  • නිතරම ඇස් පොඩි කරනවා නම්,
  • නිතරම කඳුළු වැගිරෙනවා නම්,
  • පන්තියේ ඉගෙනගන්නා විෂයයන් වලට ලකුණු අඩුවෙන් ගන්නවා නම්,
  • පන්තියේ ඉදිරිපස පෝලිම් වල සිටිනා දවස් වලට වෙනදාට වඩා හොඳින් පාඩම් වැඩ කරනවා නම්,

ඔබ ඔබේ දරුවාගේ ඇස් ගැන වැඩිපුර අවධානයක් යොමු කළ යුතුයි.සමහර අවස්ථා වල දී දරුවන් විවිධ මානසික හේතූන් නිසාද ඇස් නොපෙනෙන බවක් හැඟවීමට පුළුවන්.එවන් අවස්ථා වෙන් කර හඳුනා ගැනීම වැදගත් වන අතර ඒවාට සුදුසු පිළියම් ගැනීමත් ඉතාමත් වැදගත්.

ඊට අමතරව,

සාමාන්‍ය පෙළ /උසස් පෙළ වයසේ සිටින දරුවන්ගේ ඇස් වල දෝෂ ඇතිවීම ඉතාමත් සුලභව දක්නට ලැබෙනවා.අකුරු පැහැදිලිව කියවා ගත  නොහැකි වීම ,බස් එකක බෝඩ් එකක් හෝ පන්තියේ බෝඩ් එක පැහැදිලිව කියවාගන්නට නොහැකි වීම ,පොත අතට ගත විට නිදිමත දැනීම,නිතරම ඇඳට වී පාඩම් කිරීමට පෙළඹීම,හිසරදය වගේ ලක්ෂණ මෙම වයසේ දරුවන් පෙන්වනවා.මෙම වයසේ සිටින දරුවන්ට ඒ සම්බන්ධව දැනුවත් භාවයක් තිබුණත්,ඔවුන්ගෙන් වැඩි දෙනෙක්  ඒ සඳහා අවධානයක්  යොමු කරන්නේ නැහැ.ඊට හේතුව වන්නේ තරුණ වයසේ සිටින දරුවන්  බොහෝ දෙනෙක් කණ්ණාඩි පැළඳීමට අකමැති වීමයි.නමුත් කණ්ණාඩි පැළඳීමට අවශ්‍ය අවස්ථා වලදී එය දිගු කාලයක් තිස්සේ නොපැළඳ සිටීම නිසා ස්ථිර ලෙසම පෙනීම නැති වී ඉතා ඉක්මණින් අන්ධ භාවයට පත් වීම සිදු විය හැකි යි.

Blepharitis

ළමයින්ට වැඩිපුරම ඇතිවන තත්වයකි.එළිමහනේ සෙල්ලම් කිරීමෙන් දූවිලි,සතුන්ගේ ලෝම ආදිය නිසාද,පිරිසිදුකම අඩු කම නිසාද ඇසෙහි යම් යම් ආබාධ තත්වයන් ඇති ළමුන්ටද මෙම තත්වය ඇතිවිය හැක.ඇසේ ඇස්පිහාටු පේළි දෙකක් ඇත.මෙම එක් පෙළක ග්‍රන්ථි 80 ක් පමණ වෙනවා.එම ග්‍රන්ථි මගින් එන තරල නිසා ඇස් පිහාටු පිරිසිදු වෙනවා.නමුත් මෙම තරල ඝන වූ විට අපද්‍රව්‍ය බැහැර වීම හරියට සිදු නොවී තෙල් මෙන් බැඳෙනවා.බාහිර ද්‍රව්‍ය ඇලීම නිසා මටසිළුටු ගතිය නැති වී ඇස්පිහාටු එකිනෙක ඇලෙන ගතියක් ඇති වෙනවා.එලෙසම meibomian gland නම් ග්‍රන්ථිය තවදුරටත් අවහිර වී ඉදිමී ආසාදන තත්වයක් ඇති වෙනවා.එම නිසා වේදනාකාරී නගන ලෙස මෙම ආසාදන තත්ව එළියට  එනවා.මෙම තත්ව ඇති වීමට මානසික චිත්ත පීඩා , ගැටළු,ප්‍රශ්න ආදිය පිළිබඳව නිතර කල්පනා කිරීම ආදියද හේතු වෙනවා.සමහරුන්ට මෙම අවස්ථා වලදී ඇසේ නැටීම එනම් ඇසෙහි ගැස්මක් දැකිය හැකිය. සාමාන්‍යයෙන් මුහුණ සෝදන විට නාන විට සබන් ෂැම්පු ආදිය භාවිතා කරයි නම් මෙම තත්ව මග හරවා ගත හැකි අතර මෙවැනි තත්ව පවතින විට දෘෂ්ටි වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම වැදගත්.