අපේ ඇස විශ්කම්භය 25 mm පමණ වන ගෝලාකාර ඉන්ද්‍රියක්.පිටතින් සවිවෙලා තිබෙන මස්ගොබ,නැත්නම් අක්ෂි පේශි වලින් අපේ ඇස හිස්කබලේ තිබෙන ගුහාවක් වැනි අක්ෂි කුහරයකට සම්බන්ධ වෙලයි තිබෙන්නේ.අක්ෂි ගෝලය ප්‍රධානවම ස්ථර තුනකින් සමන්විත වෙනවා.ඒවා අක්ෂි ගෝලයේ බිත්තියේ පිටත සිට ඇතුළතට පිළිවෙලින් හඳුන්වන්නේ ශ්වේත ඝන ස්ථරය,රුධිර ග්‍රාහිය සහ දෘෂ්ටි විතානය කියලයි.ශ්වේත ඝන ස්ථරයම අක්ෂි ගෝලයේ ඉදිරි ප්‍රදේශයේදී හඳුන්වන්නේ ස්වච්ඡය කියලයි.ස්වච්ඡය මගින් ඇස තුළට ආලෝකය ඇතුල්වීමට සලස්වන නිසා එය පාරදෘශ්‍යයි කියලා කියනවා.අපේ ඇසට ආලෝකය ඇතුළු වන තැනට තමයි අපි හැමෝම “ඇහේ බබා” නැත්නම් කළු ඉංගිරියාව කියලා කියන්නේ.

අපේ ශරීරය විසින්ම අපේ ඇස් වලට ආරක්ෂාව සලස්වා දී තිබෙන්නේ කොහොමද?

ස්වභාවධර්මය විසින් හැම වෙලාවකදීම හැමදෙයක්ම ලබා දෙන්නේ ලැබිය යුතු හොඳම ආකාරයටයි.ඒ නිසා  ලැබෙන හැමදෙයක්ම හරි ආකාරයෙන් ආරක්ෂා කර ගැනීම තමා සතුයි.ඒ විදියට ස්වභාවධර්මයෙන් ම අපේ ඇස අපට ලබා දීලා තියෙන්නේ ඇස ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ආරක්ෂකයිනුත් එක්කමයි.ඒ ආරක්ෂකයෝ තමයි ඇස ස්වභාවිකව ම පිහිටා ඇති ආකාරය,ඇහිබැම,ඇසිපිය,ඇසි පිහාටු සහ කඳුළු.

  • ස්වාභාවිකවම ඇස ගුහාවක් වැනි අක්ෂි කුහරයක් තුළ පිහිටීමත් ඇසේ ආරක්ෂාව සඳහාම සිදු වුන දෙයක්.නළලට වඩා පිටුපසින් ඇස් පිහිටීම නිසා බාහිරින් සිදුවන අනතුරකදී වුවත් ඇස් වලට සිදුවන හානිය අවම වෙනවා.සුළං සහිත අවස්ථාවකදී වුවත් ඇස් ඇරගෙන සිටීමට අපට හැකි වෙන්නේ එම පිහිටීම නිසායි.ඒ වගේම ඇසට වැටුණු ජලීය ද්‍රව්‍යයක් ඇසෙන් පිටවී ඉවතට ගලා යාමටත් අක්ෂි කුහරය තුළ ඇස පිහිටා ඇති ආකාරය වැදගත් වෙනවා.

ඒ විතරක් නෙවෙයි, අපට එක ඇසක් වෙනුවට ඇස් දෙකක්ම ලැබිලා තියෙන්නේ 180° වගේ  ලොකු පරාසයක් තුළ හොඳින් පෙනීම ලබා දීමටයි.එමගින් ආරක්ෂාවද සැලසෙනවා.

ඇස් දෙකක් නැතිව අපට එක ඇසක් විතරක් තිබුණා  නම් අපගේ දර්ශන පථය සීමා වීමත් , ත්‍රිමාණ දර්ශනය නැති වීමත්, ශරීරයේ සමබරතාවය අහිමි වීමත් සිදුවන්නට තිබුණා.ඔබ එක ඇසක් වසා තනි කකුලකින් සිටගෙන සිටීමට උත්සාහ කළොත් ඔබට තත්පර 30 කට වඩා වැඩි කාලයක් සමබරතාවයෙන් සිටීමට නොහැකි වනු ඇත.අපේ ශරීරයේ සමබරතාවය හා සංවේදනයට  ඇස අවශ්‍ය වීම ඊට හේතුවයි.

  • ඇහිබැමේ ඇති කුඩා රෝම මගින්, සතෙක් හෝ ද්‍රවයක් හෝ වෙනත් ආගන්තුක ද්‍රව්‍යයක් එම ප්‍රදේශයේ ගැටුණු වෙලාවට ඇස තුළට එය ඇතුළු වීම වළක්වනවා.නැත්නම් බාධා පමුණුවනවා.උදාහරණයක් නම්,තෙල් වැනි ද්‍රවයක් ඉහළ සිට ඇස දෙසට ගලා එන අවස්ථාවක් සිතන්න.එවිට එහි ඇති රෝම පිහිටා ඇති ආකාරය නිසා තෙල් වල ගමන් මාර්ගය වෙනස් කර ඇස තුළට ඇතුළු වීම වළක්වා ඇස ආරක්ෂා කරනවා.තවද ඇහිබැම ඇසට පහළින් නොපිහිටා ඉහළින් පිහිටා ඇත්තේ ද ඇසේ ආරක්‍ෂාවටම බව දැන් අපට පැහැදිලියි.
  • අක්ෂි ගෝලය බාහිරින් වසා ගැනීමට අපට ඇසිපිය දෙකක් ලැබී තිබෙනවා.ඇසිපිය නොතිබුනානම් අපේ බාහිර පෙනුම පවා කොතරම් බියකරු එකක් වන්නට තිබුණාද?ඇසිපිය ගැසීම මගින් ඇස තුළ තෙතමනය ඒකාකාරව පතුරුවා හරිනු ලබනවා.එමගින් ඇස වියළීමෙන් ඇතිවන අපහසුතාවයත් නැතිවෙනවා.ඇසිපිය පිහිටන්නේ ඉක්මනින් වැසිය හැකි ආකාරයටයි.ගුරුත්වාකර්ෂණ බලය ඊට හේතුවන අතර එම පිහිටීම නිසා ඇසට ආරක්ෂාව ද ලැබෙනවා.

ආදි කාලයේ ග්‍රීසියේ තිබුණු දඬුවම් වලින් එකක් විදියට සලකනවා ඇසිපියෙහි කොටසක් කපා ඇස ඇරී තිබීමට සලස්වා මිනිසුන්ව අන්ධ භාවයට පත් කිරීම.බලන්න,ඇසිපිය අපිට කොයිතරම් වැදගත් දෙයක්ද?

  • ඇසිපිය වල කෙළවර තමයි ඇසි පිහාටු පිහිටලා තියෙන්නේ.ඒවා සාමාන්‍යයෙන් ඇසෙන් ඉවතට දිශානත වෙලයි පිහිටන්නේ.බාහිර දූවිලි අංශු,කෘමීන් වැනි දේවල් ඇසට ඇතුළු වෙන එක ඇසි පිහාටු මගින් වළක්වනවා.
  • අනිත් වැදගත්ම ආරක්ෂකයා තමයි දුකටයි සතුටටයි දෙකටම ඇසට උනන කඳුළු.කඳුළු වලින් ඇස නිතරම වියළි බව නැති කරලා තෙත්ව තබා ගන්නවා. ඒ වගේම ඇස පිරිසිදු කරන්නත් කඳුළු වලට පුළුවන්.ඇසට ඇතුළු වුණ දූවිලි අංශු වගේම වෙනත් කුඩා ද්‍රව්‍ය ඇත්නම් ඒවාද කඳුළු මගින් සෝදා හැරලා ඇසෙන් ඉවතට ගලා යවනවා.වැඩිපුර තිබෙන කඳුළු ඉවත් කරන්න ඇසේ සිට නාසයට මාර්ගයක් තිබෙනවා.ඇසෙයි නාසයෙයි තිබෙන ඒ සම්බන්ධය නිසා තමයි අපි අඬන වෙලාවට අපේ නාසයත් බුරුල් වෙන්නේ.

අපට පෙනීම ඇතිවන්නේ කොහොමද?

අපේ ඇසට ඇතුළු වන  ආලෝකය අක්ෂි කාචය මගින් ඇසේ ඇතුළතින්ම තිබෙන දෘෂ්ටි විතානය මතට නාභිගත කරනවා.දෘෂ්ටි විතානයෙන් තමයි ආලෝක කිරණ අල්ලා ගන්නේ.නැත්නම්,ප්‍රතිග්‍රහණය කරන්නේ.ඒ වගේම දෘෂ්ටි විතානයේ තිබෙන විශේෂිත සෛල වර්ග (කේතු සෛල සහ යෂ්ටි සෛල ) මගින් ආලෝකය සංවේදනය කරනු ලබනවා.ඒ විදියට ඇතිවන සංවේදන, ස්නායු පණිවිඩ බවට පත් කරන්න තවත් ස්නායු සෛල ස්ථරයක් (ද්විධ්‍රැව නියුරෝන සහ ගැන්ග්ලියා සෛල)දෘෂ්ටි විතානයේ තිබෙනවා.ඒ ස්නායු සෛල වල අක්සනය කියලා හඳුන්වන කොටස් එකතු වෙලා තමයි අපට පෙනීම ඇති කරන්න අත්‍යාවශ්‍ය වන දෘෂ්ට්ක ස්නායුව හදන්නේ.දෘෂ්ටික ස්නායුව අක්ෂි ගෝලයේ පිටුපසින් ආරම්භ වෙලා අපේ මොළයේ,පෙනීමට වැදගත් වන ප්‍රදේශයට සංවේදන රැගෙන ගිහින් ඒවා හඳුනාගත්තාම තමයි අපට හැම දෙයක්ම පෙනීමේ හැකියාව ලැබෙන්නේ.